මේ අහස් වියන යට ජීවත්වන ගැහෙන හදවත් ඇති මනුසතුන්ගේ ජීවන රිද්මය මොහොතින් මොහොත වෙනස් වන සුළුයි. තත්පරයෙන් තත්පරය අතීතය නිර්මාණය කරමින් කාලය ඉදිරියට යන්නේ පෘථීවි තලය තුළ වෙනස්කම් කරමින්මයි. ඒ අනුව මිනිසුන් ගැනත් මිනිස් සමාජයේ තවත් ජීවන පරිසරයක් ගැන මේ අහස් පියස යට කෙරෙන කතාබහත් බොහෝ ඉක්මණින් යාවත්කාලීන වන බවක් සමහරවිට දැනෙනවා. ඒ නිසා සති දෙක තුනකට කලින් කියපු කතාවකට අලුත් මුහුණුවරක් දෙන්න අද හිතුවේ ඒ තුළත් නවමු අදහසක් ගැබ්වෙලා ඇති හින්දයි.
ලෝකය ගැන වැඩිහිටි අපගේ දැනුම බොහෝ විට අලුත් වෙන්නේ දුවා දරැවන් හරහායි. දරැවන් වෙනුවෙන් නව දැනුම හොයා යන්න වෙන අවස්ථාත් වැඩිහිටි අපට නැතුවා නොවෙයි. කිවි පොළොවේ ආහාර නාස්තිය වළක්වාලීම සඳහා ගත් නව පියවර ගැන අහස් පියස යටට ලිපියක් ලියවුණු බව දන්නා පුංචි පුතා පාසලෙන් ගෙනා අලුත් පුවත දිගහැරැණේත් ඒ වෙනුවෙන්මයි. ඒ පුවතට මේ විදියට පණ දෙන්න හිතුවේ පෙර ලිපිය සමඟ වඩාත් සැසඳෙන නිසයි.
Love Food Hate Waste NZ වැඩසටහන පසුගිය ජුනි මාසයේ ද නවසීලන්තය තුළ නිල වශයෙන් ඇරුඹුණේ වසරකට ඩොලර් මිලියන 872ක වටිනාකම ඇති ආහාර මෙම පොළොව තුළදී ප්‍රයෝජනයට නොගෙන සිදුකෙරෙන නාස්තිය අවම කිරීමේ අරමුණ ඇතිවයි. මේ ව්‍යාපෘතිය යටතේම තවත් ආකර්ෂණීය ව්‍යාපෘතියක් පසුගිය සතියේදී නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගර මධ්‍යයේ දී ආරම්භ කෙරැණා. ඒ තමයි පොදු පරිශීලන ශීතකරණය හෙවත් Community Fridge එකක් ස්ථාපනය කිරීම.
Community Fridge කියන සංකල්පය අපට හුරැ නැතත් මෙය ලෝකයේ බොහෝ රටවලට අලුත් නැහැ. 2015 වසරේදී ස්පාඤ්ඤයෙන් තමයි මේ අදහස මුලින්ම ක්‍රියාත්මකවෙලා තියෙන්නේ. මේ වන විට ස්පාඤ්ඤයේ නගර 9ක පමණ මේ විදියේ ශිතකරණ තබා තියෙනවාලු. මීට අමතරව මහා බ්‍රිතාන්‍ය, බෙල්ජියම, ආජන්ටිනාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේත් මේ විදියේ Community Fridge තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. ආහාර නාස්තිය බින්දුවේ අගයකට ගෙන ඒම සඳහා බ්ලොග් ලිපි ලියමින් විශාල ලෙස දැනුම්වත් කිරීමේ ව්‍යාපාරයක නිරත ඇමෙන්ඩා නැමැති (Amanda Chapman) කිවි තරැණියකගේ අදහසකට අනුවයි කිවි පොළොවේ මෙම වැඩසටහනට ආරම්භයක් ලැබෙන්නේ. දිගු කලක් තිස්සේ සුපිරි වෙළෙඳ සැලක සේවය කරන ඇය එහි සිදුකෙරෙන ආහාර නාස්තිය සියැසින් දැක කම්පනයට පත්වුණාලු. පසුව Love Food Hate Waste NZ වැඩසටහනේ ආශීර්වාදය ඇතුව රජයේද උදව්වෙන් නව ව්‍යාපෘතිය හරහා පියවරක් ඉදිරියට යන්නට හැකිවෙලා. මේ ශීතකරණයේ වැදගත්කම වන්නේ කුසගින්නේ සිටින අයකුට ඉන් ආහාර නොමිලේම ලබාගන්නට හැකිවීම මෙන්ම ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කරන්නට කැමති ඕනෑම අයකුට එහි ආහාර තැන්පත් කළ හැකි වීමයි.
Take what you need
Leave what you want
කියන තේමාවෙන් එය ක්‍රියාත්මක වන්නේ ඒ නිසයි. පැය විසි හතර පුරා දින හතේම එම ශීතකරණය මේ යහක්රියාව සඳහා විවෘතව තැබෙනවා. බේකරි, සුපිරි වෙළෙඳ සැල් වලින් දිනපතා ආහාර ද්‍රව්‍ය විශාල වශයෙන් ඉවත් කරන බව අපි දන්නවා. ඉතින් එහෙම අයට ආහාර මේ ශීතකරණයේ තැන්පත් කරන්න පුළුවන්. ඒ වගේම කෙනකුගේ කුසගින්න නිවා දමන්නට යමක් දෙන්නට සිතුණ අයකුට සැන්ඩ්විච් එකක් වගේ පොඩි දෙයක් වුණත් මේ ශීතකරණයේ තබා යන්නට පුළුවන්. තමන්ගේ ගෙවත්තේ අතිරේක පළතුරැ අස්වැන්නක් වුණත් නැති කෙනකු වෙනුවෙන් එහි තබා යන්නට හැකියි. ඒ වගේම වියළි ආහාර ද්‍රව්‍ය වුණත් තැන්පත් කරන්න පුළුවන්.
මේ වගේ වැඩසටහනකින් සෞඛ්‍ය ගැටලු ඇතිවෙන්න පුළුවන් නේද කියලා කෙනකුට හිතෙන්න පුළුවන්. හැබැයි මෙහිදී ඒ සියලු දේ ගැන විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. ආහාර සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳ විශේෂඥයන් (food health and safety professional) මගින් තමයි මෙහි අනුගමනය කළ යුතු නීති මාලාව සකස් කර ඇත්තේ. ඒ වගේම මේ සම්බන්ධයෙන් කටයුතු කරන ස්වේඡා සේවකයන්ට විශේෂ පුහුණුවකුත් ලබා දීලා තියෙනවා. දිනකට දෙවරක් මේ ශීතකරණයේ නියමිත ශීත තත්ත්වය පරීක්ෂා කරන ගමන් අදාළ ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය ඉවත් කිරීමත් සිදුකෙරෙනවා. ඕනෑම කෙනකුට මෙහි ආහාර තැන්පත් කළ හැකි වුණත් එසේ කළ හැකිවන ආහාර වර්ග සහ ඒවායෙහි ප්‍රමිතිය ගැන විශේෂයෙන් සඳහන් කර තිබෙනවා. අඩක් පරිභෝජනය කළ ආහාර වගේම ඇසුරැම් විවර කළ ආහාර එහි තබන්නට අවසර නැහැ. පළතුරැ වුණත් හොඳින් පිරිසිදු කළ ඒවා විය යුතුයිලු. ඒ වගේම පිළියෙළ කළ ආහාර නම් ඒවා ලියාපදිංචි ආහාර නිෂ්පාදන ආයතනවල නිපැයුම් විය යුතු මෙන්ම කල් ඉකුත්වීමේ දිනයද නියමාකාරයෙන් සටහන් විය යුතුමයි. හොඳ වැඩක් හරහා මිනිසුන් ලෙඩ වුණොත් එහි යහපත් ප්‍රතිඵල නොලැබෙන නිසා මේ විදියට නීති රීති සමුදායක් පිළිපදින්නත් පරිත්‍යාගශීලීන්ට සිදුවෙනවා. කොහොමත් කිවි පොළොවේ ආහාර ප්‍රමිතිය ගැන මෙන්ම ඒවා සෞඛ්යාරක්ෂිතද කියන කාරණය හැමවිටම දැඩි ලෙස සොයා බැලෙනවා. ඒ නිසා ජනාකීර්ණ නාගරික ප්‍රදේශයේ සැරිසරන ඕනෑම අයකුට බියක් සැකයකින් තොරව මේ ශීතකරණයෙන් හොඳ ආහාරයක් රස විඳින්නට පුළුවන්.
මිනිසුන් වෙනුවෙන් මිනිසුන් විසින් නව යහපත් සංකල්පවලට ප්‍රාණය දෙද්දී අපි අප කෙරෙහි ඇති ආදරය අලුත් වන බවක් හැඟෙනවා. තමන්ගේ මිනිස් වර්ගයා වෙනුවෙන් යහපත් දේ හිතන පතන හිත් ඇත්තේ අතළොස්සක් වුණත් දුකෙන් අඳුරැ වූ සිත් විශාල ප්‍රමාණයක් සතුටේ ආලෝකයෙන් ප්‍රභාමත් කරන්නට ඒ කිහිපදෙනා සමත් බවත් කියන්නට ඕනෑ......
නිල්මිණි වීවලතැන්න